ඉඩම් පරිහරණ සැලසුම් කිරීම සඳහා වූ සහභාගීත්ව ප්‍රවේශය විධිමත්, අන්තර්ක්‍රියාකාරී ක්‍රියාවලියකි. එය ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම් අනුව ප්‍රදේශයේ ඉඩම් සහ අනෙකුත් සම්පත් ප්රශස්ත ලෙස වෙන් කිරීම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරන අතර එමඟින් තිරසාර ඉඩම් කළමනාකරණය ප්‍රවර්ධනය කරයි. මෙම ප්රවේශයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ බහු-ආංශික සම්බන්ධීකරණය, බහු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය සහ මෙම ක්‍රියාවලිය පුරාවට ඉඩම් පරිශිලකයන්ගේ සක්‍රීය සහභාගීත්වයයි.සපුගසුල්පත/ ගලයට කඳුර ක්ෂුද්‍ර ජල පෝෂකය, ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. තිරසාර නොවන ඉඩම් කළමනාකරණ පිළිවෙත් නිසා ප්‍රදේශයේ ඉඩම් හායනයට ලක් වී ඇති අතර එය ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මාන්තය මඟින් ලැබෙන ආර්ථික ප්රතිලාභ සඳහා අභියෝගයක් වී ඇත. තවද “උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය” නිසා ප්‍රදේශයේ උග්‍ර ජල හිඟයයක් පවතී. එම නිසා ජල හිඟයට විසදුම් සෙවීමේ සහ හායනයට ලක් වූ ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමේ ක්රමෝපායන් හඳුනාගැනීමේ දැඩි අවශ්‍යතාවක් මතුව ඇත.
මෙම අරමුණු පෙරදැරිව 2018 වර්ෂයේ දී, හායනය වූ කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය (RDALP) මඟින් මෙම ක්ෂුද්‍ර ජල පෝෂකය සඳහා සහභාගීත්ව ඉඩම් පරිහරණ සැලසුම් (PLUP) ප්‍රවේශය හඳුන්වා දෙන ලදී. සාමාන්‍යයෙන්, පාර්ශවකරුවන් ඉඩම් පරිහරණය සම්බන්ධ ගැටළු විසඳීම තනි තනි වශයෙන් සිදු කළ අතර, PLUP ක්‍රියාවලිය හරහා සියලු පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී මැදිහත්වීම මත ඉඩම් පරිහරණය සම්බන්ධ ගැටළු විසඳීම සිදු විය. මෙම PLUP ප්රවේශයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ; ක්‍රියාවලිය පුරාවට බහු-ආංශික සම්බන්ධීකරණය සහ බහු-පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයයි.
ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ (LUPPD) බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම PLUP ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් සම්බන්ධීකරණය කිරීමේ ක්‍රියාවලිය බණ්ඩාරවෙල ප්‍රදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. පළමුව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශයේ ක්ෂුද්‍ර ජල පෝෂක හඳුනාගෙන ඉඩම් පරිහරණ/ආවරණ සිතියම් සංවර්ධනය කරන ලදී. ඉන්පසු LUPPD බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයෙහි නිලධාරීන් ඉඩම් පරිහරණ සිතියම් සත්‍යාපනය කිරීම සඳහා ප්‍රජා නායකයින්, ගොවි සංවිධාන නියෝජිතයින් සහ ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. තවද, මෙම සිතියම්වල තනි බිම් කොටස් වෙන් කිරීම ද සිදු කරන ලදී. ඉන් පසුව ඉඩම් හායනයේ මට්ටම සහ බෝග කළමනාකරණ පිළිවෙත්වල ස්වභාවය හඳුනා ගැනීම සඳහා ප්‍රජා නායකයින්, ගොවි සංවිධාන නියෝජිතයින්, LUPPD හි නිලධාරීන් සහ ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කරන ලදී. මෙය ක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශයේ හායනය වූ ඉඩම් හඳුනාගැනීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ ක්‍රියාවලියකි. පසුව ප්‍රජාව, LUPPD හි සහාය ඇතිව ඉඩම් හායනය සහ කළමනාකරණ මට්ටම් පිළිබඳ සිතියම් සකස් කරන ලදී. තවද සියලුම පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඇතිව “සහභාගීත්ව ග්‍රාමීය තක්සේරුව” (පුළුල් සහ දීර්ඝ රැස්වීම්) පවත්වන ලද අතර මෙම ක්‍රියාවලියේදී, ඉඩම් හායනය/භාවිතය, ඉඩම් හිමිකාරිත්වය සහ සමාජ-ආර්ථික ගැටළු පිළිබද සාකච්ඡා කරන ලදී. ඉන් අනතුරුව මෙම ගැටළුවලට විසදුම් සෙවීමට අදාළ පාර්ශවකරුවන් හඳුනාගෙන ඒ සඳහා සවිස්තරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලදී. මීළඟ අදියරට හායනය වූ සහ දුර්වල ලෙස කළමනාකරණය කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම ඉලක්ක කර ගනිමින් සමස්ත ක්ෂුද්‍ර ජල පෝෂකය සඳහා ඉඩම් පරිහරණ සැලැස්මක් සකස් කිරීම ඇතුළත් වේ. මෙම ඉඩම් පරිහරණ සැලැස්ම කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ඉඩම් ආවරණය කරන අතර තිරසාර ඉඩම් කළමනාකරණ භාවිතයන් සහ අවශ්‍ය නිර්දේශ සපයනු ලබයි. මෙම සැලැස්ම සවිස්තරාත්මක ඉඩම් ප්‍රතිසංස්කරණ සැලැස්මක් ලෙස හැදින්විය හැකිය. ඉන්පසුව, ක්ෂුද්‍ර ජල පෝෂකය සඳහා විවිධ අංශ පදනම් වූ සවිස්තරාත්මක සැලැස්මක් සකස් කිරීම සඳහා එම අංශ නියෝජනය කරන විශේෂිත පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පවත්වන ලදී. මෙයට ගොවීන්ගේ තනි බිම් ප්‍රදේශ සඳහා සවිස්තරාත්මක සැලසුම් ඇතුළත් වේ, උදාහරණයක් ලෙස කුඩා තේ වතු සංවර්ධන අධිකරියෙහි නිලධාරීන් කුඩා තේ වගා කරන ගොවීන්ගේ ඉඩම් සඳහා සවිස්තරාත්මක සැලැස්මක් සකස් කරනු ලැබේ.
සවිස්තරාත්මක ඉඩම් ප්‍රතිසංස්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම විවිධ පාර්ශවකරුවන් විසින් ඒකාබද්ධව සිදු කරනු ලබයි. උදාහරණයක් ලෙස, තේ වගාව සමඟ අපනයන කෘෂිකාර්මික භෝග, අතුරු බෝග ලෙස යොදා ගන්නා ඉඩමක් හඳුනාගෙන තිබේ නම්, කුඩා තේ වතු සංවර්ධන අධිකරිය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉඩම් පරිහරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දේ.
තවද ඉඩම් භාවිතා කරන්නන් අතර තිරසාර ඉඩම් කළමනාකරණය පිළිබද දැනුම සහ ආකල්ප වැඩි දියුණු කිරීම සදහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් (ව්‍යාප්ති නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර) සහ RDALP ව්‍යාපෘතියේ ව්‍යාපෘති නිලධාරීන් විසින් ගොවි ක්ෂේත්‍ර පාසල්, පුහුණු කිරීමේ වැඩසටහන් පවත්වනු ලබයි. එසේම තිරසාර ඉඩම් කළමනාකරණ භාවිතයන් පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීමට සමාජ මාධ්‍ය (WhatsApp®) භාවිතා කිරීමට ගොවීන් දිරිමත් කරනු ලබයි. තවද ප්‍රජාව තිරසාර ඉඩම් කළමනාකරණය භාවිතා කර ඇති ප්‍රදේශවල ක්ෂේත්‍ර චාරිකා සදහා කැටුව යන ලදී. මෙම ප්රවේශයේ අවසාන පියවර වන්නේ ඇගයීම සහ අධීක්ෂණයයි. මෙම පියවර ගොවිජන සේවා සංවර්ධන නිලධාරීන්, RDALP හි නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් විසින් සිදු කරන ලදී. තවද, ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව අධීක්ෂණය කිරීමට ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව කටයුතු කරනු ලබයි.
සම්පාදක: මහාචාර්ය ඩබ්ලිව්.ඒ.යූ. විතාරණ සහ සචින්තිකා රණවන මෙනවිය, පාංශු විද්‍යා අංශය, කෘෂිකර්ම පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
සම්පත් දායකයින් : නිමල් ගුණසේන මහතා – ව්‍යාපෘති කළමනාකරු, RADL ව්‍යාපෘතිය, මංගලිකා කරුණාආරච්චි මහත්මිය- ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර සහ W.M.පොඩිමැණිකේ මහත්මිය - ඉඩම් පරිශිලක