පුද්ගලික සහ රාජ්ය අංශවල සහයෝගය තුලින් එළවළු වගා භුමිවල තිරසාර ඉඩම් කළමනාකරණය

වාර්ෂික වර්ෂාපතනය සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක් ගන්නා කඳුකර සහ අධික බෑවුමක් සහිත භූමි ප්‍රදේශයන්හි එළවළු වගා කරන ඉඩම්වල පාංශු ඛාදනය පාලනය කිරීම ඉතා වැදගත් වේ. වෙළඳපල අවස්ථා හිඟකම, තාක්ෂණික හා මූල්‍ය ආධාර හිඟකම සහ අතරමැදි කලාපයේ ජල හිඟය මෙම ප්‍රදේශවල ගොවීන් අත්විඳින ප්‍රධාන දුෂ්කරතා වන අතර මෙම ගැටළු, ගොවින් නව තිරසාර භූමි කලමනාකරණ තාක්ෂණයන්ට අනුගත නොවීමට ඍජුව හෝ වක්‍රව හේතු වී ඇත. තවද, මෙම කලාපවල කෘෂිරසායන ද්‍රව්‍ය අධික ලෙස සහ අනිසි ලෙස භාවිත කිරීම ගොවීන් අතර බහුලව දක්නට ලැබේ.

ඉහත සඳහන් ගැටළු මගහරවාගෙන තිරසාර භුමි කලමනාකරණය පවත්වාගෙන යාමට පෞද්ගලික සහ රාජ්‍ය අංශවල මැදිහත් වීම සාර්ථක ලෙස යොදා ගත් අවස්ථාවක් මෙම ලිපියෙන් දැක් වේ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ හායනයට ලක් වූ කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය (Rehabilitation of Degraded Agricultural Lands Project, RDALP) මගින් මෙම වැඩසටහන ආරම්භ කර ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී පුද්ගලික අංශය අලෙවිකරණය, නිෂ්පාදනයන්ගේ අගය වැඩි කිරීමට අවශ්‍ය සහය සහ තිරසාර භුමි කළමනාකරණ තාක්ෂණික ක්‍රම යෙදවීමට අවශ්‍ය  මූල්‍ය ආධාර ලබා දීම සිදු කරයි. රාජ්‍ය අංශය ක්ෂේත්‍ර පුහුණු පාඨමාලා හරහා එම තාක්ෂණික ක්‍රම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව ගොවීන්ට ලබා දෙයි.

මෙහිදී , මුල්‍ය ආධාර සහ ණය පහසුකම් යටතේ තාක්ෂණ ක්‍රම කිහිපයක් ක්ෂේත්‍රය තුළ ස්ථාපිත කරන ලදී. ඒවා නම් පොලිතීන් වසුන්, හෙල්මළු ක්‍රමයේ පාත්ති, බිංදු ජල ක්‍රමයට වතුර සහ පොහොර යෙදිය හැකි උපාංග පද්ධති සහ කෘමි ප්‍රතිරෝධී දැල්. මෙම තාක්ෂණයන් ස්ථාපිත කිරීමට සහ කළමනාකරණය කිරීමට අවශ්‍ය නිපුණතා සංවර්ධන වැඩසටහන් අඛණ්ඩ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී. මිට අමතරව, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සදහා ඒ සදහා අවශ්‍යතා සපුරන  නිෂ්පාදන සදහා සහතිකයක්, “GAP-සහතිකය”(GAP =Good Agricultural Practices) ලබාදීම සහ සුපිරි වෙළෙඳ සල්වල මෙම නිෂ්පාදන අලවිය සදහා මගහසර ලබාදීම තුලින් සුරක්ෂිත වෙළදපොලක් ගොවීන්ට විවෘත කර දෙන ලදී.

වාරි ජලයෙන් පොහොර යෙදීම මගින් පොහොර භාවිතය 70-80% කින් පමණ අඩු කිරීමට හැකි විය. තවද, කෘමි ප්‍රතිරෝධී දැල් මගින් පළිබෝධ හානි සහ කෘමිනාශක අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස අඩු විය. ප්ලාස්ටික් වසුන් නිසා වල් පැලෑටි වර්ධනය අඩු වන අතර එමඟින් ශ්‍රම පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එසේම ගොවීන් වල් පැලෑටි අතින් පාලනය කිරීමට පුරුදු විය. හෙල්මළු ක්‍රමයට පාත්ති සකසා ප්ලාස්ටික් වසුන් යෙදීම හේතුවෙන් පාංශු ඛාදනය සැලකිය යුතු ලෙස අවම විය. ජල පරිහරණ කාර්යක්ෂමතාවය බිංදු ජල සම්පාදනය මගින් වැඩිදියුණු කරන ලද අතර වගා කන්නය තුළ වාරි ජලය හිඟයක් ඇති නොවන නිසා අවුරුද්ද පුරාවටම වගා කටයුතු කිරීමට හැකි විය. මෙම තාක්ෂණික පැකේජය අනුගමනය කිරීමෙන් සමස්ත පිරිවැය 20%කින් පමණ අඩු වීඇත. තවද, අස්වැන්න 20%කින් පමණ වැඩි වූ අතර එමඟින් ලාභය 30% කින් පමණ ඉහළ ගොස් ඇත. GAP සහතිකය සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් ආරක්ෂිත පියවරයන් සමඟ පළිබෝධනාශක නිසි ලෙස භාවිතා කිරීම සහ පළිබෝධනාශක බහාලුම් ආරක්ෂිතව බැහැර කිරීම අනිවාර්ය වේ. මෙම ක්‍රමය අනුගමනය කරන ගොවීන් ගොවිපළේ ආරක්ෂිත ස්ථානයක පළිබෝධනාශක බහාලුම් එකතු කල යුතුයි.

ප්‍රවේශය ක්‍රියාත්මක කිරීම පහත පරිදි විය:

1. පුද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වයක් වර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා ආරම්භ කිරීම.

2. පුද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් හිමියන්ගෙන් සහ අපනයනකරුවන්ගෙන් යෝජනා කැඳවීම.

3. Cargills (Ceylon) PLC පෞද්ගලික ආයතනය මගින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කිරීම.

4. එම පෞද්ගලික ආයතනයෙහි එළවළු එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රදේශ, එනම් හගුරන්කෙත නුවර-එළිය, බොරලන්ද සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශ නියමු වැඩසටහන සඳහා තෝරා ගැනීම.

5. දැනටමත් පිහිටුවා ඇති එළවලු එකතු කිරීමේ මධ්‍යස්ථාන සඳහා එළවලු සපයන  ගොවීන් 80ක්  මූලික වැඩසටහන සඳහා තෝරා ගැනීම.

6. තාක්‍ෂණික පැකේජය, GAP සහතිකය ලබාගැනීමේ ක්‍රියාවලිය සහ වෙළඳපල විධිවිධාන පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ගොවි ක්ෂේත්‍ර පුහුණු පාඨමාලා පැවැත්වීම.

7. තාක්ෂණික පැකේජය ගොවීන්ගේ ක්ෂේත්රවල ස්ථාපනය කිරීම.

අමුද්‍රව්‍ය ලබා ගැනීමට සහ අනිකුත් ප්‍රාග්ධන පිරිවැය පියවා ගැනීමට ගොවීන්ට මූල්‍යමය වශයෙන් ආධාර සහ ණය පහසුකම් සලසා දෙන ලදී. පොලිතීන්, බිංදු ජල සම්පාදන පද්ධති, කෘමි ප්‍රතිරෝධී දැල් සහ උපාංග, පොහොර සහ පළිබෝධනාශක සපයා ගැනීමට ගොවින් මෙම මුල්‍යමය පහසුකම් යොදාගන්නා ලදී. අක්කර ¼ ක වගා භූමියක මෙම තාක්ෂණික පැකේජය ක්‍රියාත්මක කිරීමට ඇස්තමේන්තු කරන ලද මුදල රු. 300,000 කි. පෞද්ගලික ආයතනයට අමතරව ආරම්භක අදියරේදී එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ද අරමුදල් සම්පාදනය කරන ලදී. සමස්ථ පිරිවැයෙන් 2/3ක කොටසක් ඔවුන් දරනු ලැබූ අතර  ඉතිරි වියදම ගොවීන්  විසින් දරන ලදී. ප්‍රාග්ධන පිරිවැයෙන් ගොවීන්ගේ කොටස පියවා ගැනීම සඳහා පෞද්ගලික ආයතනයට අනුබද්ධ බැංකුව ගොවීන්ට අඩු පොලී ණය ලබා දුන්නේය.

8. ක්ෂේත්‍ර චාරිකා සහ WhatsApp® කණ්ඩායම් හරහා නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

9. එළවළු සඳහා GAP සහතිකය ලබා දෙන ලදී.

10. සාමාන්‍ය මිලට වඩා 10%ක් වැඩි මිලකට පෞද්ගලික ආයතනය විසින් ගොවීන්ගෙන් එළවළු මිලට ගන්නා ලදී.

11. මීට සමගාමීව. ගොවීන්ගේ අවශ්‍යතා සොයා බැලීම සහ සුභසාධන කටයුතුද අදාල අංශ වල මැදිහත් වීමෙන් සිදු විය. මේවාට ඇතුළත් වූයේ: ගොවීන්ට පොහොර සහ පළිබෝධනාශක සැපයීම සහ ගොවීන්ගේ දරුවන්ට පෞද්ගලික ආයතනය විසින් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ලබා දීමය.

ප්‍රවේශයේ සීමාවන් පහත පරිදි වේ:

  • GAP සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය වාර්තා තබා ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය කිරීමට ගොවීන් දක්වන අකමැත්ත
  • පළිබෝධනාශක බහාලුම් ප්‍රතිචක්‍රීකරණය කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිකම.
  • GAP සහතිකය ලත් නිෂ්පාදන පිළිබඳ පාරිභෝගික දැනුවත්භාවය අවම වීම.

ප්‍රවේශයේ ප්‍රධාන අරමුණු වූයේ ගොවියාගේ පිරිවැය 20% කින් අඩු කිරීම, අස්වැන්න 20% කින් වැඩි කිරීම සහ ලාභය 30% කින් ඉහළ නැංවීමයි. සහතික කළ ආහාර සඳහා වන පාරිභෝගික ඉල්ලුමට පිළියම් යෙදීමෙන් ගොවීන්ට වෙළඳපොළට වැඩි ප්‍රවේශයක් ලබා දීම ද මෙයින් අපේක්ෂා කෙරේ.

සම්පාදක:  ආචාර්‍ය චම්මි අත්තනායක සහ තරිඳු කුලසිංහ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුව,කෘෂිකර්ම පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

දායකත්වය:  නිමල් ගුනසේන, ව්‍යාපෘති කළමණාකාර, කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපන ව්‍යාපෘතිය (RDALP)

තරිඳු ජයවීර, ගොවිජන සේවා මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ඩී.එල්. මනෝජ් කරුණාතිලක, Cargills (Ceylon) PLC

චන්දික ගුණතිලක, Cargills Agrodevelopment Company, Cargills (Ceylon) PLC

ගොවිමහතුන්: හේරත් මුදියන්සේලාගේ ලීලාරත්න (කැටකෑල, අඹේගොඩ, බණ්ඩාරවෙල)

K.M.S.J ජයසිරි බණ්ඩාර (කැටකෑල, අඹේගොඩ, බණ්ඩාරවෙල)

වැඩි විස්තර සඳහා: https://qcat.wocat.net/en/wocat/approaches/view/approaches_6229/