වැලිමඩ ප්‍රදේශයේ පාංශු දූෂණය නැවැත්වීමට ගෙන ඇති පියවර

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ  (FAO)  හායනයට ලක් වූ කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපන ව්‍යාපෘතිය (RDALP) මගින් වැලිමඩ ප්‍රදේශයේ ගොවිබිම් සඳහා පාංශු පරීක්‍ෂාවෙන් පසුව "ස්ථානීය විශේෂිත පොහොර නිර්දේශ" කිරීමේ ක්‍රියාවලිය හඳුන්වා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර ජල පෝෂක හතරක ක්‍රියාත්මක වන අතර ඒවා මෙසේය; බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සපුගසුල්පොත, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹුගසාගල, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සපුගොල්ල, ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලෙන්බිඳිච්චදෝව.

වැලිමඩ යනු දිවයිනේ ප්‍රධාන එළවළු වගා කරන ප්‍රදේශයක් වන අතර මෙහි ඉඩම් දැඩි පාංශු ඛාදනයකට ලක් වී ඇත. එසේම පසෙහි සාරවත් බව අඩු නිසා මෙම ප්‍රදේශයේ ගොවීන් අකාබනික පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව වැලිමඩ ප්‍රදේශයේ අකාබනික පොහොර භාවිතය නිර්දේශිත ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩිය. තවද ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා රජය විසින් ලබා දෙන පොහොර සහනාධාරය වැනි දිරිගැන්වීම් ගොවීන් වැඩි වශයෙන් අකාබනික පොහොර භාවිතයට දිරිමත් කර ඇත. පාංශු ඛාදනය වැළැක්වීම, පාංශු දූෂණය අවම කිරීම, පසෙහි ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සහ රසායනික පොහොර භාවිතය අවම කිරීම සඳහා තිරසාර ඉඩම් කළමනාකරණය (SLM) සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) අනුගමනය කිරීමට RDALP ව්‍යාපෘතිය ගොවීන් දිරිමත් කරයි.

RDALP ව්‍යාපෘතියේ බදුල්ල දිස්ත්‍රික් ක්ෂේත්‍ර සම්බන්ධීකාරක උපුල් ජයවීර මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය පාරම්පරික ගොවීන් සඳහා විද්‍යාත්මක කෘෂිකර්මාන්තය හඳුන්වාදීමේ වැදගත් මුලපිරීමක් බවත් දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී ක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශවල ව්‍යාපෘතිය මගින් තෝරාගත් ගොවිබිම්වලින් 90% ක පමණ පාංශු පරීක්‍ෂණ මේ වන විට අවසන් කර ඇති බවත්ය. එමෙන්ම දැනුම හා පළපුරුද්ද උපයෝගී කරගනිමින් වැලිමඩ ප්‍රදේශයේ පාංශු දූෂණය නැවැත්වීම සඳහා විසඳුම් සෙවීම මෙහි අරමුණ බව ඔහු පැවසීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DOA) සහ FAO ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙම “ස්ථානීය විශේෂිත පොහොර නිර්දේශ” ව්‍යාපෘතිය 2018 වසරේදී සාර්ථකව අවසන් කර ඇත.

බෝගහකුඹුර කොට්ඨාශයේ කෘෂිකර්ම පරික්‍ෂක අනූෂා ප්‍රියංගනී මහත්මිය පැවසුවේ ප්‍රදේශයේ වැඩිපුරම දූෂණය වී ඇත්තේ එළවළු වගා කරන කුඹුරු ඉඩම් බවයි. මෙම ඉඩම් වසරකට කන්න තුනකදී එළවළු වගාව සඳහා යොදා ගන්නා අතර අකාබනික පොහොර අධික ලෙස භාවිතා කිරීම පාංශු දූෂණයට හේතු වී ඇත. එසේම එළවලු වගාව සඳහා භාවිතා කරන උස්බිම් දැඩි පාංශු ඛාදනයකට මුහුණ දී ඇති අතර අඩු සාරවත් බව හේතුවෙන් ගොවීන් අකාබනික පොහොර අධික ලෙස භාවිතා කර ඇත. එම නිසා මෙම ඉඩම්වල පොස්පරස් සහ පොටෑසියම් සාන්ද්‍රණය වැඩි බව ඇය පැවසුවාය.

පාංශු පරීක්ෂා කිරීමේ වගකීම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා හරහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරුන් (AI) වෙත ලබාදී මේ සඳහා ව්‍යාපෘතිය මඟින් ගොවි බිම්වල පහසුවෙන් ගෙන යා හැකි පාංශු පරීක්ෂණ කට්ටල හඳුන්වා දී ඇත. සියලුම ගොවිබිම්, ගෙවතු, කුඹුරු, එළවළු වගා බිම් සහ තේ ඉඩම් ආවරණය වන පරිදි පසෙහි pH අගය, පොස්පරස් (P) සහ පොටෑසියම් (K) සාන්ද්‍රණය පරීක්‍ෂා කර, පසෙහි පෝෂක අන්තර්ගතය විශ්ලේෂණය කර සුදුසු පොහොර ප්‍රමාණයන් නිර්දේශ කරන ලදී. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ විසින් සෑම ගොවියෙකුටම ඔවුන්ගේ ඉඩමේ පාංශු සංයුතිය, නිර්දේශිත පොහොර ප්‍රමාණය සහ පස වැඩි දියුණු කිරීම සඳහා වන අනෙකුත් උපදෙස් පිළිබඳව වාර්තාවක් නිකුත් කර ඇත.