බෝග වගාව වෙනස් කිරීම මඟින් පාංශු ඛාදනය නැවැත්වීම

හැදින්වීම

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රදේශය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන එළවළු වගා කරන ප්‍රදේශයක් වන අතර එහි බහුතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. කෙසේ වෙතත්, භූගෝලීය සාධක සහ තිරසාර නොවන කෘෂිකාර්මික පිළිවෙත් නිසා ප්‍රදේශයේ පාංශු ඛාදනය  බරපතල ගැටළුවක් වී ඇති අතර එම නිසා කෘෂිකර්මාන්තය මඟින් ලැබෙන ප්‍රතිලාභද අඩු වී ඇත. වැලිමඩ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ශ්‍රී ලංකාවේ වැඩිම පාංශු ඛාදනයක් සිදුවන ප්‍රදේශය ලෙස අධ්‍යයනවලින් හඳුනාගෙන ඇත. පාංශු ඛාදනය සඳහා බලපාන අනෙකුත් සාධක වන්නේ පාංශු ඛාදනය, එහි ප්‍රතිවිපාක, සංරක්ෂණ තාක්ෂණයන් සහ භූමියට සුදුසු භෝග වගා කිරීම පිළිබඳව ගොවීන් දැනුවත් නොවීමයි.

ගොවීන් විසින් මෙම ප්‍රදේශයේ දැඩි කඳු බෑවුම්වල පිහිටි රජයේ ඉඩම් ආක්‍රමණය කර ඊසානදිග මෝසම් (ඔක්තෝබර් සිට ජනවාරි) සමයේදී අර්තාපල් වගා කරයි. මෙම වගා ක්‍රමය හේන් වගාව ලෙස හඳුන්වන අතර මෙය මාස 3-4ක් පමණ පවතින තාවකාලික, වර්ෂාව මත පදනම් වූ වගා ක්‍රමයකි.

අස්වනු නෙලීමෙන් පසු ගොවීන් මෙම ඉඩම් අත්හැර දමන අතර වසරේ ඉතිරි කාලය එම ඉඩම් ගවයින්ගේ තණබිම් බවට පත්වේ. ජූලි සහ අගෝස්තු මාසවල මෙම ඉඩම් ලැව්ගිනි වලට නිරාවරණය වීම ඉඩම් හායනයට තවත් එක් හේතුවකි.

මෙම වගා ක්‍රමයේදී ගොවීන් කිසිවිටෙක පාංශු සංරක්ෂණයක් හෝ භූමියේ දිගුකාලීන පැවැත්මක් ගැන නොසිතයි. මෝසම් වැසි කාලය තුළ, ඔවුන් තුන් වරක් භූමියේ පස් ලිහිල් කරන අතර (ඉඩම් සකස් කිරීමේදී, පස සකස් කිරීමේදී සහ අස්වනු නෙලීමේදී) මෙය ඉඩම්වල දැඩි ඛාදනයකට හේතු වේ .

මෙම තිරසාර නොවන වගා ක්‍රමය යටතේ දිගු කාලයක් ඉඩම් භාවිතා කර ඇති බැවින් ඒවා බරපතල ලෙස හායනය වී ඇති අතර පසෙහි සාරවත් බවද අඩු වී ඇත. එබැවින් ගොවීන්ට අධික ලෙස රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතා කිරීමට සිදුවේ. මෙය නැවතත් තවත් ආකාරයක ඉඩම් හායනයට, පස හා ජල දූෂණයට තුඩු දෙයි. මෙම විෂම චක්‍රය සෑම වසරකම අඛණ්ඩව මෙම ගොවිබිම්වල සිදුවන අතර මෙමඟින් පාරිසරික, සමාජීය හා ආර්ථික ගැටලු රාශියක් ඇති කරයි. අධ්‍යයනවලට අනුව, ප්‍රදේශයේ මුළු ඉඩම්වලින් 30% ක් පමණ මෙම තිරසාර නොවන ගොවිතැන් ක්‍රමවලට යටත් වේ.

ප්‍රවේශය

හායනය වූ කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය (RDALP) අදාළ රාජ්‍ය ආයතන සමඟ එක්ව මෙම ගැටලුව සඳහා විසඳුමක් ගොවි ප්‍රජාවට හඳුන්වා දෙන ලදී. මෙම ප්‍රවේශය හදුන්වා දීමේ අරමුණු පහත පරිදි වේ.

  • බහු වාර්ෂික භෝග වලට මාරුවීම
  • වාර්ෂික භෝග සඳහා අවශ්‍ය ඉඩම් සැකසීමේ වාර ගණන අඩු කිරීම
  • නිසි සංරක්ෂණ ක්‍රම සමඟ තේ වගාව හඳුන්වා දීම
  • කෘෂි රසායන භාවිතය අවම කිරීම
  • පුරන් කාලය තුළ අයාලේ යන ගවයින් සහ ලැව්ගිනි මගින් සිදුවන හානි වැළැක්වීම
  • වසර පුරා ගොවීන්ට ඉහළ ආදායමක් සහතික කිරීම

තිරසාර ගොවිතැන් පිළිවෙත් සහ බහු වාර්ෂික භෝග බවට මාරු වීමේ වැදගත්කම පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීම් සහ පුහුණු වැඩසටහන් පවත්වන ලදී.

ක්‍රියාත්මක කිරීම

වැලිමඩ සහ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන් 10 දෙනෙකු සමඟ RDALP මෙම වැඩසටහන ආරම්භ කළේය. මෙම ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමේදී අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු විය. භෝග පරිවර්තනයේ අධික පිරිවැය ප්‍රධාන අභියෝගයි. අර්තාපල් හෝ එළවළු වගාව සඳහා භාවිතා කල ඉඩමක් නව තේ වගාවකට පරිවර්ථනය කිරීමේදී ඉඩම් සකස් කිරීම, සිටුවීම සහ නඩත්තු කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වේ. එසේම කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිර්දේශිත ඉඩම් සැකසීමේ ක්‍රියාවලිය ගොවීන් අනුගමනය කරන්නේ නම් නව තේ ඉඩමකින් ආදායමක් ලබා ගැනීමට වසර 3-4 ක පමණ කාලයක් ගත වේ.

ප්‍රදේශයේ පාංශු ඛාදනයේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් RDALP ගොවීන්ගේ මූල්‍ය පිරිවැය අඩු කර ගැනීම සඳහා ක්‍රියා පටිපාටිය වෙනස් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව අල වගාව සඳහා සකස් කළ පාත්ති තුළම තේ වගා කරන ලද අතර ඉඩම් සැකසීමේදී මාස 6 ක තණකොළ සිටුවීමේ ක්‍රියාවලිය මඟ හැර ඒ වෙනුවට කාබනික පොහොර යොදන ලදී.

අතුරු භෝග ලෙස තැඹිලි සහ දෙළුම් හඳුන්වා දෙන ලදී. පාංශු ඛාදනය අවම කිරීම සඳහා භූමි ආවරණයක් ලෙස ටෙෆ්රෝසියා ශාකය හඳුන්වා දුන් අතර ගොවීන් ඒවා සුළං බාධකයක් ලෙසද භාවිතා කරයි.

සාර්ථක කතාව

මහහේන, ඌවපරණගම පදිංචි චන්ද්‍රසේන රත්නායක මහතා මෙම ප්‍රවේශයේ ප්‍රතිලාභ ලබන එක් සාර්ථක ගොවියෙකි. තේ වලින් ස්ථිර ආදායමක් ලැබෙන බව විශ්වාස බවත් එය අර්තාපල් වගාවට ලාභදායක බවත් ඔහු පැවසීය.

චන්ද්‍රසේන රත්නායක මහතා වසර දෙකක් ඇතුළත තේ දළු නෙළීම ආරම්භ කර ඇති අතර තවමත් ඔහුගේ ආදායම අඩු මට්ටමක පවතී. නමුත් පැල මෝරන විට ඉදිරි වසරවලදී එය අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇත. පළතුරු පැල ලෙස දොඩම් සහ දෙළුම් වගා කර ඇති අතර, ඒවායින් ඉදිරියේදී අමතර ආදායමක් ලැබෙනු ඇතැයි ඔහු පැවසීය.

ඔහුගේ ඉඩම සුදුසු සංරක්ෂණ තාක්ෂණයන් සමඟ සංරක්ෂණය කර ඇත. මෙම පරිවර්තනයේ ගැටළුව අධික පිරිවැයයි. ඔහු මෙම අක්කර ½ ඉඩම සඳහා රුපියල් 200,000.00 කට වැඩි මුදලක් වැය කර ඇත. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් මුදල් ප්‍රදානයක් සහ තේ පැළද RDALP ව්‍යාපෘතිය මඟින් පලතුරු පැළද ලබා දුන් අතර තාක්ෂණික උපදෙස් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් විසින් සපයා ඇත.