ජෛව අඟුරු මත පදනම් වූ සෙමින් නිදහස් වන නයිට්රජන් පොහොර ලෙස දහය්යා ප්රතිචක්රීකරණය කිරීම

වී මෝල්වල ජනනය වන අපද්‍රව්‍යයක් වන දහය්යා, දහනය කිරීම හෝ දිරාපත් වීම හරහා එහි කාබන් හරිතාගාර වායුවක් ලෙස වායුගෝලයට එකතු වේ. එය ජීව අඟුරු බවට පරිවර්තනය කිරීම සහ යූරියා සමඟ අන්තර් සම්බන්ධ කිරීම (පිරවීම) මගින්  හරිතාගාර වායු විමෝචනය අවම කරන, N කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන සෙමින් නිදහස් වන නයිට්‍රජන් පොහොරක් (SRF) නිපදවිය හැක. දහය්යා බොහෝ විට සහල් සැකසීමේදී අපද්‍රව්‍යයක් ලෙස ඉවත් කරනු ලබන අතර, එහි කාබන්, ජෛව ඉන්ධන ලෙස දහනය කිරීම හෝ පසට දිරාපත් වීමට හැරීම හරහා හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් ලෙස වායුගෝලයට එකතු වේ. කෙසේ වෙතත්, දහය්යා ජෛව අඟුරු බවට පරිවර්තනය කිරීමේදී එහි කාබන් ස්ථායී වන අතර මී වදයක් වැනි ව්‍යුහයක් තුළ ක්ෂුද්‍ර සහ උප මයික්‍රෝන ප්‍රමාණයේ (ඉතා කුඩා) සිදුරු විශාල සංඛ්‍යාවක් ඇති වේ.

වැඩි දියුණු කරන ලද "කුන්තානිය" භාවිතා කරමින් 450°C සහ 650°C අතර උෂ්ණත්වයකදී දහය්යා ජෛව අඟුරු නිෂ්පාදනය කරන ලදී. දහය්යා ජෛව අඟුරු වල සිදුරු අවකාශ යූරියා සමඟ අන්තර් සම්බන්ධ කර (පුරවා) පසුව, සුදුසු වියෝජනය විය හැකි බන්ධකයක් භාවිතයෙන් සෙමින් නිදහස් වන පොහොර කැට නිෂ්පාදනය කරන ලදී. මෙම පොහොර කැට, N කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෙමගින් ශ්‍රී ලංකාවේ කුඹුරුවල යූරියා අවශ්‍යතාවය 25% කින් පමණ අඩු කළ හැකි අතර එය පාරිසරික තිරසාරභාවයටද දායක වේ. ජෛව කාබන් මගින් පසෙහි භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක ගුණාංග තිරසාර ලෙස වැඩිදියුණු කළ හැකි බව  සොයාගෙන ඇත. මෙම ක්‍රියාවලිය කෘෂිකාර්මික අපද්‍රව්‍ය නිර්මාණශීලීව ප්‍රතිචක්‍රීකරණය කිරීමට දායක වීමකි.

ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකණුමුල්ල ගම්මානයේ වී වගාව සිදු කරන ගොවීන් පොහොර භාවිතා කරන ක්‍රමය සමග සෙමින් නිදහස් වන පොහොර තාක්ෂණය ඇගයීමට ලක් කරන ලදී. මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ වියළි කලාපයට අයත් වේ (සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය <1750mm). යල (මැයි-සැප්තැම්බර්) සහ මහ (දෙසැම්බර් - පෙබරවාරි) යන කන්න දෙකේදී වී වගා කෙරේ. යල කන්නය සාමාන්‍යයෙන් වියළි වේ. ගොවීන් යැපෙන්නේ ගමේ කුඩා වැවකින් සපයන වාරි ජලය මතය. සෙමින් නිදහස් වන පොහොර සති 2 කදී (100 kg/ha), සති 4 කදී (170 kg/ha) සහ සති 7 කදී (145 kg/ha) සෘජු බීජ වැපිරීමෙන් පසු යොදන ලදී.

ගොවීන් පෙන්වා දුන්නේ කැට ප්‍රමාණයෙන් විශාල වන බැවින් පොහොර කුඹුරු වෙත ප්‍රවාහනයේදී යම් අපහසුතා ඇති වන බවයි. කැටිති යූරියා හා සසඳන විට SRF මගින් ගොයම් ගසේ තද කොල පැහැය වැඩි කාලයක් පැවතීම මගින් ශාකවලට N සෙමින් ලැබෙන බව ඔවුන් හඳුනා ගෙන ඇත. කෙසේ වෙතත් ඔවුන් අස්වැන්නේ වෙනසක් නිරීක්ෂණය කළේ නැත. එමෙන්ම කුකුළු  පාලනය සඳහා ඇති තරඟකාරිත්වය හේතුවෙන් ජෛව අඟුරු නිෂ්පාදනය කිරීම සඳහා සහල් මෝල් වලින් විශාල වශයෙන් දහය්යා ලබා ගැනීම සමහර විට රටේ සමහර ප්‍රදේශවල දුෂ්කර විය හැකිය. මීට අමතරව දැනුම නොමැතිකම නිසා සමහර ගොවීන් මෙම තාක්ෂණය ක්‍රියාත්මක කිරීමට අධෛර්යමත් විය හැක. නමුත් ක්ෂේත්‍ර මට්ටමින් ක්‍රියාත්මක වන ව්‍යාප්ති නිලධාරීන් හරහා මෙය ජයගත හැක.

මෙම නව තාක්‍ෂණය ක්‍රම කිහිපයකින් තිරසාර ඉඩම් කළමනාකරණ භාවිතයක් ලෙස උචිත වේ. ප්‍රථමයෙන් එය කුඹුරුවල N භාවිත කාර්යක්ෂමතාව වැඩි කරයි. දෙවනුව එය අස්වනු ඵලදායිතාවය පවත්වා ගනිමින් යූරියා අවශ්‍යතාවය 25% කින් අඩු කරයි. තෙවනුව එය කුඹුරුවල කෘෂිකාර්මික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරයි. සෙමින් නිදහස් වන පොහොර නැවත නැවත යෙදීමෙන් දහය්යා ජෛව අඟුරු මගින් පාංශු සාරවත් බව වැඩි දියුණු කරයි. අවසාන වශයෙන් හරිතාගාර වායු විමෝචනය අඩු කරයි.

සම්පාදකමහචාර්ය සමන් ධර්මකීර්ති සහ තරිඳු කුලසිංහ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුව,කෘෂිකර්ම පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

දායකත්වය: ලක්මිණී දිසානායක (පර්යේෂණ නිලධාරී, පොල් පර්යෙෂණ ආයතනය, ලුණුවිල)

තිලක් මුණසිංහ (පර්යේෂණ නිලධාරී, වී පර්යේෂණ මද්යස්ථානය, අම්බලන්තොට)

ගොවිමහත්වරුන්/මහත්මීන්:  රේණුකා සේනාරත්න, L. R. නන්දසේන, K. විමලාවතී

වැඩිදුර තොරතුරු සඳහා: https://qcat.wocat.net/en/wocat/technologies/view/technologies_6184/