ගෙවතු වගාවේ තිරසාර භූමි කළමනාකරණ ක්‍රම ප්‍රවර්ධනය අඛණ්ඩව ඉදිරියට

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය ගෙවතු වගාවේ තිරසාර භූමි කළමනාකරණ ක්‍රමවේද ප්‍රවර්ධන වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙනයමින් සිටී. 
ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා වූ ගෙවතු වගාව පිලිබඳ දෙවන පුහුණු වැඩසටහන පෙබරවාරි 01-03 දක්වා කහගොල්ල කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. 
මෙය තාක්ෂණික පුහුණුවක් වූ අතර දෙසැම්බර් 19-21 දක්වා පැවති ගෙවතු වගාව සඳහා ගොවි පුහුණු පාසැල් පැවැත්වීම පිලිබඳ පළමු පුහුණුවට සහභාගී වූ නිලධාරීන් සඳහා එය සංවිධානය කරන ලදී. 
ගෙවතු වගාවේ දී වැදගත් අංග ගණනාවක් පිලිබඳ මෙම පුහුණුවේ  දී අවධානය යොමුකරන ලදී. එහි දී පවුලේ පෝෂණ අවශ්‍යතා ගෙවත්තෙන් ලබාගැනීමට ගෙවතු වගාකරුවන් යොමු කිරීම පිළිබඳව නිලධාරීන්ට පුහුණුව ලබාදෙන ලදී. ඉහළ පෝෂණ ගුණයෙන් යුතු ආහාර ගෙවත්තෙන්  නිපදවන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙහි දී අවධානය යොමුවිය. 
පස්  පිලිබඳ ලබාදුන් පුහුණුව ගෙවතු වගාවේ දී අවශ්‍ය තවත් වැදගත් අංගයකි. මධ්‍ය  කඳුකරයේ ගෙවතු වගාව  සඳහා යොදා ගන්නා ඉඩම් බොහොමයක් දැඩි හායනයට, විශේෂයෙන්ම පාංශු ඛාදනයට ලක්ව තිබේ. මෙම පස් පිලිබඳ පැවති  පුහුණු සැසියේ දී   පාංශු සංයුතිය,  පාංශු  හායනය, පාංශු ඛාදනය, පාංශු සංරක්ක්ෂණයේ වැදගත්කම, පාංශු  සෞඛ්‍ය, පාංශු ජෛව විවිධත්වය, ජීවී පස, පාංශු සංරක්ක්ෂණ ක්‍රම  පිළිබඳව නිලධාරීන් දනුවත් කරන ලදී.  පුහුණුවේ දී ශාක පෝෂක  පිළිබඳවත්, ශාක පෝෂක පවතින මට්ටම් හඳුනාගැනීම,  ශාක  පෝෂක ඌනතා  හඳුනා ගැනීම සහ ඒවා ලබාදීම පිළිබඳව ද  පුහුණුව ලබාදෙන ලදී. 
පුහුණුවට ඇතුලත් වූ අනෙකුත් පාඩම් අතර; ගෙවත්තක වැට  කළමනාකරණය,   පැල  ස්ථානගතකිරීම, තවාන් පාලනය,  වාර්ෂික භෝග සහ ස්ථිර භෝග වගාකිරීම, ශාක කප්පාදුව, ශාක පුහුණුකිරීම ඇතුලත්විය. මෙම සියලු පුහුණු සැසිවාර සහභාගිත්ව ක්‍රමවේද යටතේ ප්‍රායෝගික පුහුණුව සමග ක්ෂේත්‍රයේ දී සිදුකරනලදී. ජල කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය, කෘමි හානි සහ රෝග, එවා පාලනය ආදිය ද පුහුණුවට ඇතුලත් විය. 
වැඩසටහන සඳහා ප්‍රවීන කෘෂි විශේසඥ වරුන් කණ්ඩායමක් සහභාගි වූ අතර එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ගොවි පුහුණු පාසැල් පිළිබඳ උපදේශක උපාලි ජයසුන්දර, බණ්ඩාරවෙල කහගොල්ල කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී.එන්.සෝමචන්ද්‍ර, ආචාර්ය මනෝජ් කොඩිකාර, ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ ආචාර්ය ඒ.ජී.චන්ද්‍රපාල, බණ්ඩාරවෙල හෙද පුහුණු පාසලේ ප්‍රධානී සුධර්මා වනසිංහ යන මහත්ම මහත්මීන්  ඒ අතර විය. හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතියේ බදුල්ල සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකාරක උපුල් ජයවීරමහතා විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලදී. 
වැඩසටහන සඳහා බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම සංවර්ධන නිලධාරීනී සන්ජිමා වීරකෝන් මහත්මිය ඇතුළු කෘෂිකර්ම පර්යේෂණ සහ  සංවර්ධන නිලධාරීහු සහභාගී වූහ. මෙම නිලධාරීන් විසින් ගෙවතු වගාව පිළිබඳව ගොවීන් පුහුණු කරනු ඇත.