තිරසාර භූමි කළමනාකරණ ප්‍රවේශයන් - ශ්‍රී ලංකාව

ප්‍රවේශය පිළිබඳ කෙටි විස්තරය

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කාන්තාවන් වැනිලා වගාව තුළින් තිරසාර ඉඩම් කළමනාකරණයක් සිදු කරන අතර එමගින් ඔවුන්ගේ පවුල් සඳහා අමතර ආදායමක් උපයා ගනී.

ප්‍රවේශය පිළිබඳ සවිස්තරාත්මක විස්තරය

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ගෙවතු වල සාමාන්‍ය භූමි ප්‍රමාණය අක්කර 0.25 - 0.5 පමණ වේ. මෙම ඉඩම් බිම්වල පළතුරු සහ කුළුබඩු ශාක අහඹු ලෙස පැතිරී පවතී. දෛනික මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මතුපිට පස හායනය වී ඇත. ඉහළ ඉඩම්වලින් ගලා බසින ජලය නිසා මෙන්ම නිවෙස්වල වහලයේ වැසි ජලය සෑම දිශාවකටම ගලා යාම නිසා ගෙවතුවල අධික පාංශු ඛාදනයක් සිදු වේ.

ගෙවතු යනු සංරක්ෂණය සම්බන්ධයෙන් අඩුවෙන්ම සහභාගී වන ඉඩම් කට්ටි වේ.

වැනිලා, තිරසාර ඉඩම් කළමනාකරණ ආකෘතිය සුදුසු පාරිසරික තත්ත්වයන් පවතින ප්‍රදේශවල කාන්තාවන් සඳහා ආර්ථිකමය වශයෙන් ආකර්ශනීය අවස්ථාවකි. දෛනික මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෙවතුවල සිදුවන පාංශු ඛාදනය අවම කිරීම සහ ඉහළ ආර්ථික ප්‍රතිලාභ සහිත මුදල් බෝගයක් හඳුන්වාදීම මෙම ප්‍රවේශයේ අරමුණු වේ. පොදුවේ ගත් කල, මෙය ප්‍රජාව අතර තිරසාර ඉඩම් කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට උපයෝගී විය.

ආදායම් උත්පාදන බෝග හඳුන්වා දීම හරහා ඉඩම් හිමියන් තිරසාර ඉඩම් කළමනාකරණය වෙත පෙළඹවීම මෙම ප්‍රවේශයේ ප්‍රධාන උපාය මාර්ගයයි. ප්‍රවේශය සඳහා වඩාත් සුදුසු ඉලක්ක කණ්ඩායම ලෙස කාන්තා කණ්ඩායම සලකා බලා තෝරා ගන්නා ලදී. මෙම ප්‍රවේශය ඔවුන්ගේ සමාජ හා මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට උපකාරී විය.

ප්‍රවේශයේ ක්‍රම පහත පරිදි විය:

වැනිලා වගාවේ මූල්‍ය ප්‍රතිලාභ පිළිබඳව පැහැදිලි කර පෙන්වීමට කාන්තා කණ්ඩායම් මනාව කළමනාකරණය කරන ලද වැනිලා වගාවක් වෙත කැටුව යන ලදී. තවද, වැනිලා වගාවේ තිරසාර ඉඩම් කළමනාකරණ තාක්ෂණික ක්‍රමවේදවල වැදගත්කම පිළිබඳව සාකච්ඡා කර ප්‍රදර්ශනය කරන ලදී. තනි ගොවිපල සැලසුම් කිරීම, ගොවිපල සැලැස්මට අනුව තිරසාර ඉඩම් කළමනාකරණ තාක්ෂණික ක්‍රම තෝරා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම සහ වැනිලා වැල් නඩත්තු කිරීම පිළිබඳ ප්‍රායෝගික  පුහුණුවක් ද පවත්වන ලදී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරින් විසින් සෑම ගෙවත්තකම ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ ක්‍රියාවලියට සහය වී ඇත. වගාව සහ තිරසාර ඉඩම් කළමනාකරණ පිළිබඳ තාක්ෂණික සහාය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති අතර ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් පුහුණු කිරීම් සම්බන්ධීකරණය සහ පහසුකම් සැලසීම සිදු කර ඇත. එමෙන්ම “ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල හායනයට ලක් වූ කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ (GEF ව්‍යාපෘති ID: 5677) ව්‍යාපෘතිය” මඟින් රෝපණ ද්‍රව්‍ය සැපයීම සඳහා සහාය වී ඇත. කාන්තවන් විසින් වැනිලා වගාකරුවන්ගේ සංගමයක් පිහිටුවාගෙන ඇති අතර ඔවුන් විසින්ම පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබයි. එමෙන්ම පෞද්ගලික වැනිලා නිෂ්පාදනකරුවන් සහ අලෙවිකරුවන් කාන්තා කණ්ඩායම සමඟ සම්බන්ධ වී ඇත. වැනිලා සැකසුම් සහ අපනයන සමාගමේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක විසින් ගුණාත්මක වැනිලා නිෂ්පාදනය පිළිබඳව ගොවීන් පුහුණු කළ අතර තිරසාර ඉඩම් කළමනාකරණ සහ වැනිලා වගාව කෙරෙහි ගොවීන් උනන්දු කරවන වෙළඳපල සම්බන්ධයද සහතික කරන ලදී.

ප්‍රවේශයේ ප්‍රධාන අරමුණු

  • ගෙවතු වගාවේදී තිරසාර ඉඩම් කළමනාකරණ ය හඳුන්වා දීම
  • කාන්තාවන් සඳහා තිරසාර ආදායම් මාර්ගයක් ලෙස වැනිලා වගාව හඳුන්වා දීම සහ ඔවුන්ගේ විවේක කාලය ආදායම් උත්පාදනය සඳහා ඵලදායී ලෙස භාවිතා කිරීමට දිරිමත් කිරීම
  • ගෙවතු සඳහා ආර්ථික හා සෞන්දර්යාත්මක වටිනාකමක් එකතු කිරීම
  • කාන්තාවන් අතර පාරිසරික දැනුවත්භාවය වැඩි කිරීම සහ පාරිසරික ආරක්ෂාව පිළිබඳ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම

ප්‍රවේශය යටතේ ක්‍රියාත්මක වන තාක්‍ෂණය/තාක්‍ෂණයන් ක්‍රියාත්මක කිරීම, සක්‍රීය කරන හෝ බාධා කරන කොන්දේසි

සමාජ/සංස්කෘතික/ආගමික සම්මතයන් සහ වටිනාකම්:

පවුල සඳහා ආදායම් උත්පාදනය කිරීමේදී කාන්තාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදනයක් ලෙස වැනිලා වලින් ලැබෙන ආදායම ඔවුන්ගේ සමාජ තත්ත්වය වැඩි දියුණු කරයි.

මූල්‍ය සම්පත් සහ සේවා ලබා ගැනීමේ හැකියාව/ ප්‍රවේශය:

වැනිලා ආදායම් උත්පාදනය බෝගයක් වන අතර බෝග අසාර්ථක වීමේ අවදානම අවම ය. එබැවින්, ආදායම වර්ධනය වී මූල්‍ය සම්පත් සහ සේවා සඳහා ප්‍රවේශ්‍යතාව ද වැඩි වේ යැයි  අපේක්ෂා කළ හැකිය.

ආයතනික සැකසුම:

කාන්තා ගොවීන් ඔවුන්ගේම වැනිලා වගාකරුවන්ගේ සංගමයක් පිහිටුවාගෙන ඇති අතර ඔවුන් විසින්ම පුහුණු වැඩසටහන් සහ අලෙවිකරණ විධිවිධාන සංවිධානය කරති.

ක්‍රියාකාරීන්ගේ සහයෝගීතාවය/ සම්බන්ධීකරණය:

වැනිලා සහ තිරසාර ඉඩම් කළමනාකරණය සඳහා තාක්ෂණික සහාය ප්‍රදේශයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් සපයනු ලබන අතර පෞද්ගලික අංශයේ වැනිලා නිෂ්පාදනකරුවන් සහ අලෙවිකරුවන් කාන්තා කණ්ඩායම සමඟ සම්බන්ධ වී ඇත.

නීතිමය රාමුව (ඉඩම් අයිතිය, ඉඩම් සහ ජල පරිහරණ අයිතිවාසිකම්):

කාන්තාවන් තමන්ගේ නිවස අවට ප්‍රදේශයේ මෙම ප්‍රවේශය ක්‍රියාත්මක කරනු ලබන අතර එම ඉඩම් වල අයිතිය ඔවුන් සතුය. මෙම ප්‍රවේශය පාංශු ඛාදනයට එරෙහි තාක්ෂණික ක්‍රම ප්‍රවර්ධනය කරයි. වර්ෂාව මත වගාව හොඳින් වැඩෙන බැවින් ජලය සඳහා විශේෂ ඉල්ලුමක් නොමැත.

තිරසාර ඉඩම් කළමනාකරණය පිළිබඳ දැනුම, තාක්ෂණික සහාය සඳහා ප්‍රවේශය:

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ව්‍යාප්ති නිලධාරීන් විසින් තාක්ෂණික සහාය සහ උපදෙස් සපයනු ලබන අතර පෞද්ගලික වැනිලා සමාගම් ද ව්‍යාප්ති නිලධාරීන් යොදවා තිරසාර ඉඩම් කළමනාකරණ භාවිතයන් ප්‍රවර්ධනය කරයි. බෝග අස්වැන්න බොහෝ දුරට රඳා පවතින්නේ භාවිතා කරන ලද තිරසාර ඉඩම් කළමනාකරණ තාක්ෂණයේ මට්ටම මතය.

වෙළඳපල (ආදාන මිලදී ගැනීම, නිෂ්පාදන විකිණීම) සහ මිල ගණන්:

ආදාන අවශ්‍යතාවය ඉතා සීමිතය. රෝපණ ද්‍රව්‍යයද (වැනිලා දඩු කැබලි) පහසුවෙන් ලබාගත හැකිය. එමෙන්ම වැනිලා වැල් ආධාරක ලෙස Gliricidia දේශීයව පවතී. මෙම ප්‍රවේශයේ යොදන තිරසාර ඉඩම් කළමනාකරණ ශිල්පීය ක්‍රම සරලය. පොල් ලෙලි සහ ගස් කඳන් වැනි ද්‍රව්‍ය ටෙරාසස් සකස් කිරීම සඳහා භාවිතා කරයි. ස්වභාවික වැනිලා සඳහා මිල ඉහළයි. කාන්තාවන් කණ්ඩායම් වශයෙන් සකස් වී ඇති අතර ඔවුන් වැනිලා වෙළඳපොළ සමඟ ගනුදෙනු කිරීම  පිළිබඳ සාකච්ඡා කරයි.

ශ්‍රම ශක්තිය ලබා ගැනීමේ හැකියාව:

තිරසාර ඉඩම් කළමනාකරණ භාවිතයන් සඳහා විශාල ශ්‍රමයක් අවශ්‍යය නොවේ. තනි වේදිකා සහ සමෝච්ච වේදිකා වැනි හොඳ තිරසාර ඉඩම් කළමනාකරණ ශිල්පීය ක්‍රම සමඟ වැනිලා වැල් 100 - 200 ස්ථාපිත කිරීමට පවුලේ ශ්‍රමය ප්‍රමාණවත් වේ. එබැවින් වැනිලා, ශ්‍රම උදාසීන බෝගයක් ලෙස දැකිය හැක.

ප්‍රවේශයට සම්බන්ධ පාර්ශවකරුවන් සහ ඔවුන්ගේ භූමිකාවන්

                                 

ප්‍රමුඛ ගොවියා (වැනිලා වගා කරන්නා) :

පුහුණු පහසුකම් සහ අත්හදා බැලීම් සහ අත්දැකීම් බෙදාගැනීම

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරියා:

වැනිලා වගාව පිළිබඳ තාක්ෂණික දැනුම සහ පුහුණුව ලබා දීම

ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරී:

පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය සහ පහසුකම් සැලසීම

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරී:

තිරසාර ඉඩම් කළමනාකරණය පිළිබඳ පුහුණුව, ගොවිපල සැලසුම් සකස් කිරීම සහ හොඳම බෝග කළමනාකරණ පිළිවෙත් ප්‍රදර්ශනය කිරීම

FAO-GEF වැඩසටහන් නිලධාරි:

සම්බන්ධීකරණය, SLM සහ වැනිලා වගාව පිළිබඳ තාක්ෂණික යෙදවුම්

පුද්ගලික අංශය:

වැනිලා සැකසුම් සහ අපනයන සමාගමේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක

තිරසාර ඉඩම් කළමනාකරණ ක්‍රියාත්මක කිරීමට ඉඩම් භාවිතා කරන්නන්ගේ ප්‍රධාන පෙළඹවීම

  • වැඩි ලාභය (හැකියාව), පිරිවැය-ප්‍රතිලාභ අනුපාතය වැඩි වීම, මෙම ප්‍රවේශය මඟින් එක් පවුලක් වැනිලා පැල/වැල් 100ක් නඩත්තු කරයි. එක් පැළයකින්/වැලකින් ලැබෙන සාමාන්‍ය වාර්ෂික අස්වැන්න වසර 3කට පසු කිලෝග්‍රෑම් 1කි. සකස් නොකළ වැනිලා බීජ කිලෝවකට වෙළඳ පොළ මිල රුපියල් 6,000 (ඇමරිකානු ඩොලර් 35) කි. එබැවින්, පවුලක අපේක්ෂිත වාර්ෂික ආදායම 600,000 (ඇමරිකානු ඩොලර් 342) වේ.
  • භූමි හායනය අඩු වීම: වැනිලා, කාබනික ද්‍රව්‍ය බහුල පසෙහි හොඳින් වර්ධනය වේ. කාබනික පොහොර භාවිතා කිරීමට ඉඩම් පරිහරණය කරන්නන් දිරිමත් කිරීම මෙම ප්‍රවේශය මඟින් සිදු කෙරේ. ටෙරාසස් මත වැනිලා පැල මත සිටුවීමෙන් ගෙවතු අවට පාංශු ඛාදනය සහ පාංශු සංයුක්ත වීම වළක්වයි.
  • කීර්තිය, සමාජ පීඩනය/ සමාජ ඒකාබද්ධතාවය
  • පාරිසරික විඥානය: ගෙවත්තේ සෞන්දර්යාත්මක දැක්ම වැඩිදියුණු වන අතර, මෙම ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමේ වාසි ගොවියාට දැනීම.
  • තිරසාර ඉඩම් කළමනාකරණ දැනුම සහ කුසලතා වැඩිදියුණු වීම: ඉඩම් භාවිතා කරන්නන්ට ගෙවත්තේ සහ තිරසාර ඉඩම් කළමනාකරණයෙහි අවශ්‍යතාවය දැනෙන්නට පටන් ගන්නා අතර ඔවුන්ගේ අනෙකුත් ඉඩම්වලටද තිරසාර ඉඩම් කළමනාකරණය යෙදීමට පටන් ගනී.
  • සෞන්දර්යාත්මක වැඩිදියුණු කිරීම: ගෙවත්තේ සෞන්දර්යාත්මක දැක්ම වැඩිදියුණු වීම.

ප්‍රවේශයේ වාසි

ඉඩම් පරිශීලකයාගේ දැක්මට අනුව;

  • ශ්‍රී ලංකාවේ වැනිලා ප්‍රධාන වශයෙන් ගෙවතුවලට සීමා වී ඇත. වැනිලා යනු මහනුවර, නුවරඑළිය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සාර්ථකව වගා කළ හැකි මුදල් බෝගයකි.
  • ඵලදායි නොවන කුඩා වතු සහ ගෙවතු සඳහා කදිම විකල්ප බෝගයක් ලෙස වැනිලා හඳුනාගෙන ඇත. අඩු ශ්‍රම අවශ්‍යතා සහ ඉහළ ආදායම වැනිලා වගාවේ ප්‍රධාන වාසි වන අතර එම නිසා කාන්තාවන්ට තම ගෙවත්තේ වැනිලා වගාව සඳහා තම නිදහස් කාලය යෙදවිය හැකිය.
  • අලෙවිකරණ වාසිය: වැනිලාට අවශ්‍ය වන්නේ කාබනික පොහොර පමණි. වැනිලා වැලකින් වසරකට වැනිලා කිලෝවක් පමණ නිපදවිය හැකි අතර සාමාන්‍ය වෙළඳපල මිල LKR 6,000 කි. (34 USD) එය වාර්ෂිකව LKR 60,000 (342 USD). පවුලට ලැබෙන මෙම ආදායම තිරසාර ඉඩම් කළමනාකරණ ශිල්පීය ක්‍රම අනුගමනය කිරීමට ඔවුන්ගේ උනන්දුව ප්‍රවර්ධනය කරයි.

සම්පාදකයාගේ හෝ වෙනත් ප්‍රධාන සම්පත් පුද්ගලයාගේ දැක්මට අනුව;

  • ඉඩම් හිමියාට ඉහළ ප්‍රතිලාභ ලැබෙන බැවින් තිරසාර ඉඩම් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම පහසුය. එබැවින්, තිරසාර ඉඩම් කළමනාකරණය සමඟ සම්බන්ධ වූ ආර්ථික ආකෘතියක් ක්‍රියාත්මක කිරීම පහසුය.
  • සමාජයේ ආකල්ප වෙනස් කිරීමේදී කාන්තාවන් විශාල කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන් තිරසාර ඉඩම් කළමනාකරණ භාවිතයන් ධනාත්මකව සලකන්නේ නම්, එය අනෙකුත් වගා බිම්වලට පහසුවෙන් ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හැදින්වීම

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රදේශය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන එළවළු වගා කරන ප්‍රදේශයක් වන අතර එහි බහුතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. කෙසේ වෙතත්, භූගෝලීය සාධක සහ තිරසාර නොවන කෘෂිකාර්මික පිළිවෙත් නිසා ප්‍රදේශයේ පාංශු ඛාදනය  බරපතල ගැටළුවක් වී ඇති අතර එම නිසා කෘෂිකර්මාන්තය මඟින් ලැබෙන ප්‍රතිලාභද අඩු වී ඇත. වැලිමඩ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ශ්‍රී ලංකාවේ වැඩිම පාංශු ඛාදනයක් සිදුවන ප්‍රදේශය ලෙස අධ්‍යයනවලින් හඳුනාගෙන ඇත. පාංශු ඛාදනය සඳහා බලපාන අනෙකුත් සාධක වන්නේ පාංශු ඛාදනය, එහි ප්‍රතිවිපාක, සංරක්ෂණ තාක්ෂණයන් සහ භූමියට සුදුසු භෝග වගා කිරීම පිළිබඳව ගොවීන් දැනුවත් නොවීමයි.

ගොවීන් විසින් මෙම ප්‍රදේශයේ දැඩි කඳු බෑවුම්වල පිහිටි රජයේ ඉඩම් ආක්‍රමණය කර ඊසානදිග මෝසම් (ඔක්තෝබර් සිට ජනවාරි) සමයේදී අර්තාපල් වගා කරයි. මෙම වගා ක්‍රමය හේන් වගාව ලෙස හඳුන්වන අතර මෙය මාස 3-4ක් පමණ පවතින තාවකාලික, වර්ෂාව මත පදනම් වූ වගා ක්‍රමයකි.

අස්වනු නෙලීමෙන් පසු ගොවීන් මෙම ඉඩම් අත්හැර දමන අතර වසරේ ඉතිරි කාලය එම ඉඩම් ගවයින්ගේ තණබිම් බවට පත්වේ. ජූලි සහ අගෝස්තු මාසවල මෙම ඉඩම් ලැව්ගිනි වලට නිරාවරණය වීම ඉඩම් හායනයට තවත් එක් හේතුවකි.

මෙම වගා ක්‍රමයේදී ගොවීන් කිසිවිටෙක පාංශු සංරක්ෂණයක් හෝ භූමියේ දිගුකාලීන පැවැත්මක් ගැන නොසිතයි. මෝසම් වැසි කාලය තුළ, ඔවුන් තුන් වරක් භූමියේ පස් ලිහිල් කරන අතර (ඉඩම් සකස් කිරීමේදී, පස සකස් කිරීමේදී සහ අස්වනු නෙලීමේදී) මෙය ඉඩම්වල දැඩි ඛාදනයකට හේතු වේ .

මෙම තිරසාර නොවන වගා ක්‍රමය යටතේ දිගු කාලයක් ඉඩම් භාවිතා කර ඇති බැවින් ඒවා බරපතල ලෙස හායනය වී ඇති අතර පසෙහි සාරවත් බවද අඩු වී ඇත. එබැවින් ගොවීන්ට අධික ලෙස රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතා කිරීමට සිදුවේ. මෙය නැවතත් තවත් ආකාරයක ඉඩම් හායනයට, පස හා ජල දූෂණයට තුඩු දෙයි. මෙම විෂම චක්‍රය සෑම වසරකම අඛණ්ඩව මෙම ගොවිබිම්වල සිදුවන අතර මෙමඟින් පාරිසරික, සමාජීය හා ආර්ථික ගැටලු රාශියක් ඇති කරයි. අධ්‍යයනවලට අනුව, ප්‍රදේශයේ මුළු ඉඩම්වලින් 30% ක් පමණ මෙම තිරසාර නොවන ගොවිතැන් ක්‍රමවලට යටත් වේ.

ප්‍රවේශය

හායනය වූ කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය (RDALP) අදාළ රාජ්‍ය ආයතන සමඟ එක්ව මෙම ගැටලුව සඳහා විසඳුමක් ගොවි ප්‍රජාවට හඳුන්වා දෙන ලදී. මෙම ප්‍රවේශය හදුන්වා දීමේ අරමුණු පහත පරිදි වේ.

  • බහු වාර්ෂික භෝග වලට මාරුවීම
  • වාර්ෂික භෝග සඳහා අවශ්‍ය ඉඩම් සැකසීමේ වාර ගණන අඩු කිරීම
  • නිසි සංරක්ෂණ ක්‍රම සමඟ තේ වගාව හඳුන්වා දීම
  • කෘෂි රසායන භාවිතය අවම කිරීම
  • පුරන් කාලය තුළ අයාලේ යන ගවයින් සහ ලැව්ගිනි මගින් සිදුවන හානි වැළැක්වීම
  • වසර පුරා ගොවීන්ට ඉහළ ආදායමක් සහතික කිරීම

තිරසාර ගොවිතැන් පිළිවෙත් සහ බහු වාර්ෂික භෝග බවට මාරු වීමේ වැදගත්කම පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීම් සහ පුහුණු වැඩසටහන් පවත්වන ලදී.

ක්‍රියාත්මක කිරීම

වැලිමඩ සහ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන් 10 දෙනෙකු සමඟ RDALP මෙම වැඩසටහන ආරම්භ කළේය. මෙම ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමේදී අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු විය. භෝග පරිවර්තනයේ අධික පිරිවැය ප්‍රධාන අභියෝගයි. අර්තාපල් හෝ එළවළු වගාව සඳහා භාවිතා කල ඉඩමක් නව තේ වගාවකට පරිවර්ථනය කිරීමේදී ඉඩම් සකස් කිරීම, සිටුවීම සහ නඩත්තු කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වේ. එසේම කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිර්දේශිත ඉඩම් සැකසීමේ ක්‍රියාවලිය ගොවීන් අනුගමනය කරන්නේ නම් නව තේ ඉඩමකින් ආදායමක් ලබා ගැනීමට වසර 3-4 ක පමණ කාලයක් ගත වේ.

ප්‍රදේශයේ පාංශු ඛාදනයේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් RDALP ගොවීන්ගේ මූල්‍ය පිරිවැය අඩු කර ගැනීම සඳහා ක්‍රියා පටිපාටිය වෙනස් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව අල වගාව සඳහා සකස් කළ පාත්ති තුළම තේ වගා කරන ලද අතර ඉඩම් සැකසීමේදී මාස 6 ක තණකොළ සිටුවීමේ ක්‍රියාවලිය මඟ හැර ඒ වෙනුවට කාබනික පොහොර යොදන ලදී.

අතුරු භෝග ලෙස තැඹිලි සහ දෙළුම් හඳුන්වා දෙන ලදී. පාංශු ඛාදනය අවම කිරීම සඳහා භූමි ආවරණයක් ලෙස ටෙෆ්රෝසියා ශාකය හඳුන්වා දුන් අතර ගොවීන් ඒවා සුළං බාධකයක් ලෙසද භාවිතා කරයි.

සාර්ථක කතාව

මහහේන, ඌවපරණගම පදිංචි චන්ද්‍රසේන රත්නායක මහතා මෙම ප්‍රවේශයේ ප්‍රතිලාභ ලබන එක් සාර්ථක ගොවියෙකි. තේ වලින් ස්ථිර ආදායමක් ලැබෙන බව විශ්වාස බවත් එය අර්තාපල් වගාවට ලාභදායක බවත් ඔහු පැවසීය.

චන්ද්‍රසේන රත්නායක මහතා වසර දෙකක් ඇතුළත තේ දළු නෙළීම ආරම්භ කර ඇති අතර තවමත් ඔහුගේ ආදායම අඩු මට්ටමක පවතී. නමුත් පැල මෝරන විට ඉදිරි වසරවලදී එය අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇත. පළතුරු පැල ලෙස දොඩම් සහ දෙළුම් වගා කර ඇති අතර, ඒවායින් ඉදිරියේදී අමතර ආදායමක් ලැබෙනු ඇතැයි ඔහු පැවසීය.

ඔහුගේ ඉඩම සුදුසු සංරක්ෂණ තාක්ෂණයන් සමඟ සංරක්ෂණය කර ඇත. මෙම පරිවර්තනයේ ගැටළුව අධික පිරිවැයයි. ඔහු මෙම අක්කර ½ ඉඩම සඳහා රුපියල් 200,000.00 කට වැඩි මුදලක් වැය කර ඇත. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් මුදල් ප්‍රදානයක් සහ තේ පැළද RDALP ව්‍යාපෘතිය මඟින් පලතුරු පැළද ලබා දුන් අතර තාක්ෂණික උපදෙස් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් විසින් සපයා ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ  (FAO)  හායනයට ලක් වූ කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපන ව්‍යාපෘතිය (RDALP) මගින් වැලිමඩ ප්‍රදේශයේ ගොවිබිම් සඳහා පාංශු පරීක්‍ෂාවෙන් පසුව "ස්ථානීය විශේෂිත පොහොර නිර්දේශ" කිරීමේ ක්‍රියාවලිය හඳුන්වා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර ජල පෝෂක හතරක ක්‍රියාත්මක වන අතර ඒවා මෙසේය; බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සපුගසුල්පොත, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹුගසාගල, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සපුගොල්ල, ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලෙන්බිඳිච්චදෝව.

වැලිමඩ යනු දිවයිනේ ප්‍රධාන එළවළු වගා කරන ප්‍රදේශයක් වන අතර මෙහි ඉඩම් දැඩි පාංශු ඛාදනයකට ලක් වී ඇත. එසේම පසෙහි සාරවත් බව අඩු නිසා මෙම ප්‍රදේශයේ ගොවීන් අකාබනික පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව වැලිමඩ ප්‍රදේශයේ අකාබනික පොහොර භාවිතය නිර්දේශිත ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩිය. තවද ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා රජය විසින් ලබා දෙන පොහොර සහනාධාරය වැනි දිරිගැන්වීම් ගොවීන් වැඩි වශයෙන් අකාබනික පොහොර භාවිතයට දිරිමත් කර ඇත. පාංශු ඛාදනය වැළැක්වීම, පාංශු දූෂණය අවම කිරීම, පසෙහි ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සහ රසායනික පොහොර භාවිතය අවම කිරීම සඳහා තිරසාර ඉඩම් කළමනාකරණය (SLM) සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) අනුගමනය කිරීමට RDALP ව්‍යාපෘතිය ගොවීන් දිරිමත් කරයි.

RDALP ව්‍යාපෘතියේ බදුල්ල දිස්ත්‍රික් ක්ෂේත්‍ර සම්බන්ධීකාරක උපුල් ජයවීර මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය පාරම්පරික ගොවීන් සඳහා විද්‍යාත්මක කෘෂිකර්මාන්තය හඳුන්වාදීමේ වැදගත් මුලපිරීමක් බවත් දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී ක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශවල ව්‍යාපෘතිය මගින් තෝරාගත් ගොවිබිම්වලින් 90% ක පමණ පාංශු පරීක්‍ෂණ මේ වන විට අවසන් කර ඇති බවත්ය. එමෙන්ම දැනුම හා පළපුරුද්ද උපයෝගී කරගනිමින් වැලිමඩ ප්‍රදේශයේ පාංශු දූෂණය නැවැත්වීම සඳහා විසඳුම් සෙවීම මෙහි අරමුණ බව ඔහු පැවසීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DOA) සහ FAO ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙම “ස්ථානීය විශේෂිත පොහොර නිර්දේශ” ව්‍යාපෘතිය 2018 වසරේදී සාර්ථකව අවසන් කර ඇත.

බෝගහකුඹුර කොට්ඨාශයේ කෘෂිකර්ම පරික්‍ෂක අනූෂා ප්‍රියංගනී මහත්මිය පැවසුවේ ප්‍රදේශයේ වැඩිපුරම දූෂණය වී ඇත්තේ එළවළු වගා කරන කුඹුරු ඉඩම් බවයි. මෙම ඉඩම් වසරකට කන්න තුනකදී එළවළු වගාව සඳහා යොදා ගන්නා අතර අකාබනික පොහොර අධික ලෙස භාවිතා කිරීම පාංශු දූෂණයට හේතු වී ඇත. එසේම එළවලු වගාව සඳහා භාවිතා කරන උස්බිම් දැඩි පාංශු ඛාදනයකට මුහුණ දී ඇති අතර අඩු සාරවත් බව හේතුවෙන් ගොවීන් අකාබනික පොහොර අධික ලෙස භාවිතා කර ඇත. එම නිසා මෙම ඉඩම්වල පොස්පරස් සහ පොටෑසියම් සාන්ද්‍රණය වැඩි බව ඇය පැවසුවාය.

පාංශු පරීක්ෂා කිරීමේ වගකීම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා හරහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරුන් (AI) වෙත ලබාදී මේ සඳහා ව්‍යාපෘතිය මඟින් ගොවි බිම්වල පහසුවෙන් ගෙන යා හැකි පාංශු පරීක්ෂණ කට්ටල හඳුන්වා දී ඇත. සියලුම ගොවිබිම්, ගෙවතු, කුඹුරු, එළවළු වගා බිම් සහ තේ ඉඩම් ආවරණය වන පරිදි පසෙහි pH අගය, පොස්පරස් (P) සහ පොටෑසියම් (K) සාන්ද්‍රණය පරීක්‍ෂා කර, පසෙහි පෝෂක අන්තර්ගතය විශ්ලේෂණය කර සුදුසු පොහොර ප්‍රමාණයන් නිර්දේශ කරන ලදී. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ විසින් සෑම ගොවියෙකුටම ඔවුන්ගේ ඉඩමේ පාංශු සංයුතිය, නිර්දේශිත පොහොර ප්‍රමාණය සහ පස වැඩි දියුණු කිරීම සඳහා වන අනෙකුත් උපදෙස් පිළිබඳව වාර්තාවක් නිකුත් කර ඇත.

 

රටෙහි දැනට පවතින වනාන්තර ගහනය සංරක්ෂණය කරමින්, වන ආවරණය 2% කින් පුළුල් කිරීමට නියමිත වන නමුත් බොහෝ සම්පත් හීන ගොවීන් තම ජීවනෝපාය සඳහා වනාන්තර එළිපෙහෙළි කරමින් බෝග වගාවේ යෙදී සිටී. ගොවි ජනතාවගේ අවශ්‍යතා තිරසාර ලෙස සපුරාලන ආකාරය මත වන සංරක්ෂණයේ ප්‍රායෝගිකත්වය රඳා පවති. බෝග වගාව ප්‍රවර්ධනය කිරීම, ගැමි ජනතාවට ස්ථිර ආදායම් මාර්ගයක් සලසන අතර, වනාන්තර ආරක්ෂා කිරීමට මෙන්ම එය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහාත් ඇති හොඳම විසඳුම වනු ඇත. එහිදී රබර් වගාව, ගොවි ජනතාවගේ  ජීවන මට්ටම මෙන්ම ශාක වැස්මද ඉහළ නංවන අතරම, ස්වභාවික රබර් අවශ්‍යතාව සපුරාලීමෙන් රටට ප්‍රතිලාභ ලබා දේ. අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල රබර් ගොවීන් මසකට රුපියල් 30,000/- ක පමණ ස්ථිර  ආදායමක් උපයන බවට වාර්තා වී ඇත. ඉහත දිස්ත්‍රික්ක දෙකට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේද රබර් වගාව සාර්ථක වී ඇත.